Latest Post

මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්

ශ්‍රී ලංකා මෝටර් රථ රියැදුරන්ගේ හා යතුරුපැදිකරුවන්ගේ සංගම සහ නුවරඑළිය මෝටර් රථ ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා නාවික හමුදාව සමග එක්ව තෙවැනි වරටත් සංවිධානය කරන ‘කොළඹ සුපර්ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය දෙසැම්බර් මස 1 වැනිදා පෙරවරු 9.00 සිට වැලිසර නාවික හමුදා ධාවන පථයේදී පැවැත්වේ.

දක්ෂතම මෝටර් රථ රියැදුරා තෝරාගැනෙන එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 3500 දක්වා) මෝටර් රථ ඉසව් දෙක සහ දක්ෂතම යතුරුපැදිකරුවා තෝරාගැනෙන එම්.එක්ස්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 125 සිට 250 දක්වා) යතුරුපැදි ඉසව් දෙකද සමග මෝටර් රථ ඉසව් 13 කින් සහ යතුරුපැදි ඉසව් 11 කින් මෙවර තරගවලිය සමන්විත වේ.

අශාන් සිල්වා, උෂාන් පෙරේරා, කුෂාන් පීරිස්, සජාඞ් සුහේර් සහ ඉෂ්රාක් වහබ් වැනි ප්‍රධාන පෙලේ මෝටර් රථ රියැදුරන් මෙන්ම ජාක් ගුණවර්ධණ, ඉවෝන් බී. ගුරුසිංහ, ඉෂාන් දසනායක, ළහිරු ජීවන්ත සහ ශානුක සඳවරුන් වැනි ප්‍රධාන පෙලේ යතුරුපැදි ධාවකයන්ද ඇතුළුව මෝටර් රථ රියැදුරන් 75 ක් සහ යතුරුපැදිකරුවන් 150 ක් පමණ මෙවර තරගාවලිය සඳහා ලියාපදිංචි වී සිටිති.

‘හච් සුපර් සීරීස්’ තරග මාලාවේ අවසන් තරගාවලිය ලෙස පැවැත්වෙන මෙම තරගාවලිය පැවැත්වෙන අතර මින් පෙර පැවැති ෆොක්ස්හිල් සුපර්ක්‍රොස්, කමාන්ඩෝ සුපර්ක්‍රොස්, කැවල්රි සුපර්ක්‍රොස් සහ මොබිල්-1 කටුකුරුන්ද යන තරගාවලි අවසානයේදී මෝටර් රථ අංශයෙන් අශාන් සිල්වාද, යතුරුපැදි අංශයෙන් ජාක් ගුණවර්ධනද ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටිති.

මේ දක්වා පැවැති ‘කොළඹ සුපර්ක්‍රොස්’ තරගාවලි දෙකේදීම දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනාගැනීමට අශාන් සිල්වා සමත් වූ අතර 2017 වසරේදී ශානුක සඳරුවන්ද, 2018 වසරේදී බුද්ධික කසුන් සිල්වාද ‘කොළඹ සුපර්ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවන් සම්මාන දිනාගත්හ.

තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස හච් සමාගම කටයුතු කරන අතර ප්ලැටිනම් අනුග්‍රාහකයන් ලෙස සියැට්, හොණ්ඩා සහ කේ.ටී.එම්. යන සමාගම් කටයුතු කරයි. ඩීමෝ, අබාන්ස් යන සමාගම් සහ ලංකා බැංකුව සම අනුග්‍රාහකයන් ලෙසද, ෂෙල් ගෑස් සමාගම සහ කෝස්වේ පේන්ට්ස් සමාගම සෙසු අනුග්‍රාහකයන් ලෙසද තරගාවලියට එක්ව සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *