Latest Post

පල්ලෙකැළේ IIවැනි සටනින් ශ්‍රී ලංකාවට ජය ලෝක ශූරයන්ට ජය
  • මුලින්ම කොළඹ ආපු සනත් ජයසුරියව 23 න් පහළ කණ්ඩායමට තල්ලු කරයි
  • 1999 ලෝක කුසලාන තරගාවලියේදී අපේ කණ්ඩායම දැක්වු අසාර්ථකත්වය නිසා මාව පුහුණුකරු ධුරයෙන් අයින් කළා
  • ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ලකුණු දහස සම්පූර්ණ කළ රෝයි ලෝක කණ්ඩායමට

(අසේල විතාන)

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ලකුණු හිමිකරුවා බන්දුල වර්ණපුරය. නමුත් ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ලකුණු දහස සම්පූර්ණ කළ ක්‍රීඩකයා කවුද? ඒ ‘අපි නොදන්න ක්‍රිකට්’ කතා මාලාවේ තවත් විශිෂ්ඨ කතානායකයකු වන ඔහු රෝයි ඩයස්ය. 1980 දශකයේදී විවියන් රිචඩ්සන් නම් කළ ලෝක කණ්ඩායමටද රෝයි ඩයස් ඇතුළත්වීමට තරම් ඔහු විශිෂ්ඨයකු විය.
ශ්‍රී ලංකාවේ හතරවැනි ටෙස්ට් ක්‍රිකට් වර්ණලාභියා වන මොහු ටෙස්ට් තරග 20 කදී ශතක තුනක් සහ අර්ධ ශතක අටක් සමග මුළු ලකුණු 1285 ක් ලබා තිබේ. මෙරට 15 වැනි එක්දින ක්‍රීඩකයා වන රෝයි ඩයස් එක්දින තරග 58 කදී ශතක දෙකක් සහ අර්ධ ශතක එකොළහක් සමග ලකුණු 1573 ක් ලබා ගැනීමට සමත්ව ඇත. රෝයි ඩයස්ගේ පිති ප්‍රහාරයේ රසය දන්නා ප්‍රේක්ෂකයෝ එදා ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කිරීමට පටන් ගැනුණි. නමුත් ඔහු ගැන අපි නොදන්න බොහෝ දේ මෙහි අඩංගු වේ.
“මම පාසල් ගියේ ශාන්ත පීතර විදුහලට. එදා මම අවුරුදු 12 න් පහළ ඉදල ක්‍රිකට් පටන් ගත්තා. එතකොට මගේ වයස අවුරුදු 10 යි. ඊට පස්සෙ මම අවුරුදු 14 න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කරනකොටම 19 න් පහළ කණ්ඩායමටත් ක්‍රීඩා කරන්න පුළුවන් වුණා. අවුරුදු පහක් මම 19 න් පහළ ගැහුව්වා. අවුරුදු 2 ක් මම නායකත්වය දැරුවා. මම ඉස්කෝලෙ යන කාලෙ ක්‍රිකට් තරගාවලි ඉවර වුණහම රගර් කණ්ඩායමට බැඳිලා ඒ තරගාවලියත් ක්‍රීඩා කරනවා. කොහොම හරි ඉස්කොලෙ යන කාලයේ මට අමතක නොවන සිදුවීම වුණේ මගේ නායකත්වය යටතේ ශාන්ත ජෝශප් කණ්ඩායම සමග පැවැති බිග් මැච් එකේදී අපි ලකුණු 36 කට දැවී යාමයි. ඒක අපි පැරදුනා.”

අනුර තෙන්නකෝන්, අජිත් සිල්වා, මයිකල් තිසේරා, ටෝනි ඕපාත වගේ කට්ටිය තමයි මම පාසල් යන කාලයේ දැක්ක හොඳම ක්‍රීඩකයන්. තව ක්‍රීඩකයන් ඉන්න ඇති. නමුත් එදා අපිට රූපවාහිනිවල සහ රේඩියෝවල ඒ ගැන අහන්න ලැබුණේ නැහැ. මොව හරි දැන ගත්තෙ පත්තරෙන්.
අපි කාටවත් ඒ දවස්වල පෞද්ගලික ක්‍රිකට් උපකරණ මුකුත් තිබුණෙ නැහැ. ඒ කාලේ අපිට ඒව අරන් දෙන්න කවුරුත් හිටියෙත් නැහැ. පාසලෙන් ලැබෙන බඩුවලින් ක්‍රිකට් ගහලා තමයි ශ්‍රී ලංකාවට ගැහුව්වෙ. මම පාසලෙන් අවුට් වුණ ගමන්ම ශ්‍රී ලංකාවට සෙල්ලම් කරන්න ලැබුණා. ඒ දවස්වල ඉන්දියාවේ ගෝපලන් තරාවලිය තමයි අපිට තිබුණ ලොකුම තරගාවලිය. මේ තරාවලිය යන්න හැම ක්‍රීඩකයෙක්ම ඒ කාලේ බලාපොරොත්තුවෙන් ඉන්නේ. නමුත් ඒක යන එක ලේසි වුණේ නැහැ. මට මතකයි 73 දී බන්දුල වර්ණපුර, සුනිල් වෙත්තමුණිත් එක්ක මමත් ඒ තරගාවලියට ගියා.
ඒ කාලේ කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ එකමුතුකම ගොඩක් තිබුණා. ඉස්සර මැච් එකක් ඉවර වුණාම කණ්ඩායම් දෙකේම කට්ටිය එකට සෙට්වෙලා බියර් බීලා විනෝද වුණා. 82 දී තහනම් දකුණු අප්‍රිකානු සංචාරය යන්න මටත් ආරාධනාවක් ආවා. මම අදටත් කියන්න ලැජ්ජා නැහැ ඒ තරගාවලිය යන්න මමත් අත්සන් කළා. හැබැයි අත්සන් කළාට මම ගියේ නැහැ. එ වුණත් මගේ නම තමයි එදා මුලටම ඔය සිද්ධියේදී කියවුණේ. මම අතසන් කරපු ගිවිසුම කාගේ හරි මාර්ගයකින් ක්‍රිකට් ආයතනයට ගිහිල්ලා තිබ්බා. ඔය සිද්ධිය වෙනකොට මම ටෙස්ට් තරග 6කට ලකුණු හයසීයක් ගහලා තිබුණා. මම අත්සන් කළේ එදා ඔක්කොම ඒ ගිවිසුම අත්සන් කළ නිසයි.
කොහොම හරි මගේ උපන්දිනය තිබුණ දවසෙ තමයි අපේ කට්ටිය දකුණු අප්‍රිකාවට ගියේ. මගේ උපන්දින සාදයට එවකට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ක්‍රිකට් සභාපති ගාමිණී දිසානායක මහතා ඇවිල්ලා හිටියා. ඒ වෙලාවෙ රූපවාහිණියේ මේ අයගේ පින්තූරදාලා පෙන්වනවා තහනම් දකුණු අප්‍රිකානු සංචාරයකට පිටත් වුණා කියලා. ඒ වෙලාවෙ මගේ ළඟ හිටපු හිතවෙතක් ගාමිණී දිසානායක මහත්තයගෙන් ඇහුව්වා මේ අයට කරන්නෙ මොකක්ද කියලා. එතකොට එතුමා කිව්වා ඒ ගැන ඉදිරියේදී බලාගන්න පුළුවන් වෙයි කියලා.
අපේ කට්ටිය දකුණු අප්‍රිකාවේ ගිහිල්ලා ඉන්නකොට අපි ශ්‍රී ලංකා කණ්ඩායම හිටියෙ සිම්බාබ්වේ. එහෙදි ලෝයර් කෙනෙක් ඇවිල්ලා මම අත්සන් කරපු ගිවිසුම පෙන්නලා කිව්වා මාව උසාවි ගෙනියනවා කියලා. මම කිව්වා මගේ අත්සන ඕන කෙනෙකුට ගහන්න පුළුවන් මේක මගේ අත්සන නෙමෙයි කියලා. ඊට පස්සෙ ඒ ලෝයර් මටයි දුලිප්ටයි දකුණු අප්‍රිකාවට යන්න ලෑස්ති කරල තිබුන ටිකට් හිටන් පෙන්නුවා. ඔය සිදුවීමේදී මගෙත් එක්ක කවුරුත් තරහා වුණේ නැහැ. ඒ තරගාවලිය ගිය කට්ටිය තමයි මගේ හොඳම යාළුවෝ. මම ඒ සංචාරයට ගිය නැති එකට ගොඩක් කට්ටිය ස්තුති කරලා මට තෑගි පවා එව්වා.
අපි පළමු ටෙස්ට් තරගය දිනන්න ඉස්සෙල්ලා ආසියානු කුසලාන දිනුවා. ඒ වෙලාවෙ හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා ජයග්‍රහණයට පසුදින සමස්ත ශ්‍රී ලංකාවට විශේෂ නිවාඩු දිනයක් ලබා දුන්නා.
79, 83, සහ 87 වසරවල තිබ්බ ලෝක කුසලාන තරගාවලි මම ක්‍රීඩා කළා. 87 ලෝක කුසලාන තරගාවලියේදී මම ලකුණු 81 ක් එංගලන්තයට ගැහුව්වා. හැබැයි ඒ ගහලා ලංකාවට ආපු ගමන් මාව කණ්ඩායමෙන් අයින් කරලා දැම්මා. අද කාලේනම් 81 ක් ගැහුව්වම අයින් කරන්නෙ නැහැනේ. ඒත් එදා මට එහෙම වුණා. ඊට පස්සෙ මම ක්‍රීඩා සමාජ තරගාවලි ක්‍රීඩා කර කර ඉන්නකොට සිම්බාබ්වේ සංචාරයකට යන ශ්‍රී ලංකා ‘බී’ කණ්ඩායමේ නායකත්වය කරන්න කැමැතිද කියලා ඇහුව්වා. මම කල්පනා කරලා ඔව් කියලා උත්තරයක් දුන්නා. ඒ තරගාවලිය අපි හොඳටම කළා. අපි එහෙට යනකොට සිම්බාබ්වේ පත්තරවල තිබ්බෙ මේ ටීම් එක වැඩක් නැහැ. රෝයි ඩයස් සහ හෂාන් තිලකරත්න විතරයි හොඳ කට්ටියට ඉන්නෙ කියලා. නමුත්අපි සියලුම තරග දිනලා ලංකාවට ආවා. පස්සෙ 1991 සාජා තරගාවලියේදී මාව ආයිත් කණ්ඩායමට ගෙන්න ගත්තා. ඒත් මාව බංකුවේ තිබ්බ මිසක් තරග කරන්න අවස්ථාව දුන්නෙ නැහැ. හරියට මාවන් අතපත්තුට 2007 දී වුණ දේම තමයි මටත් එදා වුණේ. මාවන් එදා නායකයා වෙලා ආබාධයකට කණ්ඩායමෙන් අයින් වුණ වෙලාවෙ ලෝක කුසලාන තරගාවලියම බංකුවේ තිබ්බා. මම 81 ක් එංගලන්තයට ගහලා හිටිද්දි ආයිත් එකම තරගයක්වත් ක්‍රීඩා කරන්න දුන්නෙ නැහැ.

මම සී.සී.සී. කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් වැඩ කළා. එතකොට සනත් ජයසුරිය මුලින්ම කොළඹට ඇවිල්ලා සෙල්ලම් කළේ සී.සී.සී. කණ්ඩායමට. ඒ කාලේ ශ්‍රී ලංකා වයස අවුරුදු 23 න් හළ කණ්ඩායමක් පාකිස්තානයේ සංචාරයකට යන්න සූදානම් කරනවා. මට ඕන වුණා කොහොම හරි සනත් ජයසුරිය මේ තරගාවලියට යවන්න. ඒ වෙනකොටත් සනත් ජයසුරිය ඉතාමත් හොඳ ක්‍රීඩකයෙක් බව ඔහු ක්‍රීඩා කරන විදිහෙන් දැනගෙන හිටියේ. පස්සෙ අපේ යාළුවෙක් හිටියා තේරීම් කමිටු සාමාජිකයෙක්. ඔහුටත් කියලා සනත්ව කණ්ඩායමට දැම්මා. සනත් ඒ තරගාවලියේදී ද්විත්ව ශතක දෙකක් ලබා ගත්තා.
බටහිර ඉන්දීය කොදෙව් හිටපු නායකයකු වන විවියන් රිචඩ්ස් ඒ කාලේ නම් කරපු ලෝක කණ්ඩායමේ අංක තුන පිතිකරු විදිහට මාව නම් කළා. ඉතිං ඒක මට ලොකු සතුටක්.මට මතකයි 1982 දී අපි ඉන්දියාවේ ටෙස්ට් තරගයකදී මම ලකුණු 97 ක් ගහලා දැවී ගියා. ඊට පස්සෙ සුනිල් ගවස්කාර් ඇවිල්ලා කිව්වා මම දැකපු ලෝකයේ හොඳම ඉනිම තමයි ඔය ඉනිම කියලා. ඒ වගේ ලෝක පූජිත ක්‍රීඩකයෙක් එහෙම කියන එක ලොකු හයියක් වුණා.
මම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ අවුරුදු පහක් හිටියා. ඒ කාලෙදි තමයි 1996 ලෝක කුසලාන දිනුවේ. එදා අපිට කණ්ඩායම තෝරන්න අමාරු වුණේ නැහැ. නායක අර්ජුන රණතුංග හොඳම ක්‍රීඩකයන්ව අපිට කියනවා. එයා කාව හරි කියන්නෙ හොඳට බලලා. අපිත් ඉතින් ඒ ගැන හිතලා එයාට අවශ්‍ය ක්‍රීඩකයන් ලබාදෙනවා. මම තේරීම් කමිටුවේ ඉන්න කාලේ අපිට ක්‍රිකට් ආයතනයෙන් කිව්වා අරවින්ද ද සිල්වාව උපනායකත්වයෙන් අයින් කරන්න කියලා. අපි ඒ දේ කරන්න බැහැ කියලා අරවින්දව දිගටම උපනායකත්වයේ තිබ්බා.
1997 දී මම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට පත්වුණා. මාස 15 ක් මම පුහුණුකරු විදිහට කටයුතු කරපු කාලයේ අපි හොඳින් තරගාවලිවලට සහභාගි වුනා. පස්සෙ 1999 ලෝක කුසලාන තරගාවලියේදී අපේ කණ්ඩායම දැක්වු අසාර්ථකත්වය නිසා මාව පුහුණුකරු ධුරයෙන් අයින් කළා.

Leave a Reply

Your email address will not be published.