Latest Post

පල්ලෙකැළේ IIවැනි සටනින් ශ්‍රී ලංකාවට ජය ලෝක ශූරයන්ට ජය

ශ්‍රී ලාංකීය ක්‍රිකට් නව පරිච්ඡේදයකට පරිවර්තනය කළ අතීත ක්‍රිකට් විරුවන් අතර පෙරමුණේ රාළ කෙනෙකු වශයෙන් සිදත් වෙත්තමුණි හැදින්විය හැකිය. 1970 දශකයේ සිට 1980 දශකයේ අග භාගය වන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ඔහු කළ සේවය යෝධ පවුරක් මෙනි.
ලොව වේගවත්ම පන්දු යවන්නන් ක්‍රීඩා කළ වකවානුවක හිස්වැසුම් නොමැතිව ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කළ වෙත්තමුණි අනතුරුව හිස්වැසුම් ලෝක ක්‍රිකට් පිටියට පැමිණෙන අවධියේද මෙරට ආරම්භක පිතිකරුවා විය. හිස්වැසුම් පැළඳ සිටියදීත් පිලිප් හියුස් වැනි පිතිකරුවන් පන්දුව වැදී මෙළොව හැර ගියේ ක්‍රිකට් ක්‍රීඩාවේ වේග පන්දුව කොතරම් සැර අවියක්ද යන ප්‍රශ්නය මතුකරමිනි. නමුත් සිදත්ලා එදා ඒ සියල්ලට සහජ හැකියාවෙන් මුහුන දුන්නද අද ආපසු ඒ අතීතය සිහිපත් කරද්දී ඔහු පවසන්නේ ආරම්භක පිතිකරුවකු වශයෙන් ක්‍රීඩා නොකළ යුතු යුගය 1970/80 දශකය බවයි.


1970 ක්‍රිකට් ගහපු හැටිත්, 1983 තහනම් දකුණු අප්‍රිකානු සංචාරය සම්බන්ධව මෙන්ම 1996 ලෝක කුසලානයේ රසබර තොරතුරුද සිදත් වෙත්තමුණිගේ මතකයේ නොමියෙන ක්‍රිකට් රසයන් වී තිබේ. ඒ හරබර රසවත් අතීතය සම්බන්ධයෙන් ඔහුගේ කතාව මෙසේ දිග හැරෙයි.
“1975 වසරේඅස්ගිරිය ක්‍රීඩාංගණයේදී පාකිස්තානයත් එක්ක තමයි මම පළමු වරට පළමු පෙළ ක්‍රිකට් තරගයකට සහභාගි වුණේ. හැබැයි ඒ මැච් එකේදී මට ඉනිම දෙකේදීම ලකුණු ලබාගන්න බැරි වුණා. ඊට පස්සෙ පළමු වතාවට ජාත්‍යන්තර තරගයකට සහභාගි වුණේ 1977 වසරේදී. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම ලෙස අපි ඉන්දියාවේ ගෝපාල්වල තරගයකට සහභාගි වුණා. ඒ කාළේ ඉන්දියාවට යන කොට අපිට සල්ලි ගෙනියන්න බැහැ. ඒ සංචාරයේදී අපූරු සිදුවීමක් වුණා. එදා අපිට වියදම් කරන්නත් සල්ලි නැහැ. කට්ටියට බඩු ගන්න ක්‍රමයක් කල්පනා කර කර හිටියා. ඒ වුණත් අපිට කන්න සල්ලි තිබුණා. පස්සෙ අපි අපේ ළග තිබුණ බඩු තව එක්කෙනෙක් මාර්ගයෙන් මදුරාසියේ තැනකට ගිහිල්ලා විකුණලා සල්ලි ගත්තා. මගේ පරණ බැට් එකකුත් විකුණලා තමයි ලංකාවට එන කොට බඩු ගෙනාවේ.
1977 දී මට පළමු වරට ශ්‍රී ලංකා කැප් එක හම්බ වුණා. ඒ එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවේ තිබ්බ තරගයකදී. ඒ තරගයේ එංගලන්ත කණ්ඩායමේ නායකයා වූයේ ටෝනි ග්‍රේග්. ඔවුන් එතකොට ලෝකයේ අවධානය දිනාගත් ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක්. ඔවුන් වෙනත් තරගාවලියකට යන අතරතුරදී තමයි අපිත් එක්ක තරග කරන්න ආවේ.
කාලයෙන් කාලයට ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් වෙමින් පවතී. වර්තමානයේ ක්‍රිකට් යනු වෘත්තියකි. 1970 දශකයේ මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් සිය ක්‍රීඩාව කරගෙන ගියේ තමන් උපයාගත් දෙය වියදම් කරමිනි. සිය ආර්ථික යුද්ධයට මුහුන දීමේ අරමුණ පෙරදැරිව සිදත් වෙත්තමුණි වයස අවුරුදු 30 දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන්නේය.
“අපි ඒ කාලයේ ක්‍රිකට් ගැහුව්වෙ අර්ධ කාලීන වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන් විදිහට. දැන් වගේ ක්‍රිකට් සම්පූර්ණයෙන්ම වෘත්තියක් වෙලා තිබුණෙ නැහැ. අපි වැඩ කරන ආයතනයෙන් අපිට ක්‍රිකට් ගහන්න අවස්ථාව දීලා තිබ්බා. වැඩට ගිහිල්ලා සවස හතරට විතර ප්‍රැක්ටිස් වලට එනවා. සල්ලි තිබුණෙ නැති නිසා ජොබ් එක කළා. ක්‍රිකට් ගහන්න ආස නිසා ක්‍රිකට් ගැහුව්වා. කොහොම හරි ශ්‍රී ලංකා කණ්ඩායමට ගහන්නම ඕන කියලා හිතේ තියෙන කට්ටිය සව හතරට විතර ඇවිල්ලා ඒ කාලේ පුහුණුවීම් කරනවා. අනිත් අය හවස පහට විතර ඇවිල්ලා පුහුණුවීම් කරනවා. එහෙම තමයි අපි ක්‍රිකට් ගැහුව්වේ.”


අවුරුදු දහයකට පසුව සිදත්ලාට රුපියල් දස දහසක දීමනාවක්
1975 කාලය වන විට අපේ රටේ වෙළෙඳසේවා ක්‍රිකට් ආයතනයෙන් ලොකු සේවයක් රටට වුණා. වෙළෙඳසේවා ආයතන ගොඩක් හොඳ ක්‍රිකට් තරගාවලියකට ඒ කාලයේ සහභාගි වුණා. මම ක්‍රිකට් ගැහුව්වෙ මහරාජා ආයතනයට. රාජ මහේන්ද්‍රන් මහතා ඒ කාළේ හිටපු හොඳම ක්‍රිකට් ක්‍රීඩකයන්ට ජොබ් එක දිලා කිව්වා ඔයගොල්ලන් වෘත්තීය මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් විදිහට ක්‍රිකට් ගහන්න කියලා. ඊට පස්සෙ අපි උදේ ශාරීරික යෝග්‍යතාවලට එනවා. ඊට පස්සෙ ආයිත් වැඩට යනවා. ආයිත් සවස පුහුණුවීම්. ඒ ආකාරයෙන් තමයි අපි ක්‍රීඩාව දිහා බලන විදිහ වෙනස් වෙන්න පටන් ගතතෙ. 1977 ඉදන් 1980 වෙනකම් ඔය විදිහට අපි ක්‍රිකට් ගැහුව්වා. එතනින් පස්සෙ තමයි ටික ටික ක්‍රිකට් වෘත්තීය මට්ටමට හැරුණේ.
අපි ගහන කාළේ ගොඩක් හොඳ පුහුණුකරුවන් හිටියා. ඔවුන් ක්‍රීඩාව දිහා බලලා සාකච්ඡා කරලා ඒ අනුව තමයි පුහුනුවීම් කළේ. ඔවුන් ිසින් ක්‍රීඩකයන්ව අධ්‍යනය කරලා ඒ සැලැස්මකට අනුව පුහුණුවීම් කළා. අද කාලයේ පුහුණුකරුවෝ පොතක් බලලා තමයි පුහුණු කරන්නෙ. අපේ රටේ තියෙන ප්‍රශ්නයක් තමයි අද පුහුණුවෝ ටේ්‍රන් කරලා තියෙන මදිකම.
1970 දශකයේදී ජාතික සංචිතයට ක්‍රීඩකයන් තේරුවේ වෙළෙඳසේවා තරගාවලියෙන් සහ ක්‍රීඩා සමාජ තරගාවලියෙන්. ඒ තරගාවලි දෙකෙන් හොඳම ක්‍රීඩකයන් 25 දෙනෙක්ව තෝරනවා. ඊට පස්සෙ පුහුණු තරග පවත්වනවා. ඒ පුහුණු තරග තේරීම් කමිටු සාමාජිකයන් බලන් ඉදලා එතනින් තමයි අවසන් සංචිතයට ක්‍රීඩකයන් තෝරන්නෙ. පුහුණු තරගයේදී වැඩ දැම්මෙ නැත්නම් අන්තිම පහළොස් දෙනා අතරට එන්නත් බැහැ.
මම 1977 ඉදන් 1987 වෙනකම් අවුරුදු 10 ක් ක්‍රිකට් ගැහුව්වා. අන්තිම අවුරුද්දෙ මම, දුලිප් මෙන්ඩිස් සහ රෝයි ඩයස් වගේ අය තමයි 87 වෙනකොට කණ්ඩායමේ හිටිය ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයෝ. අපිට ඒ කාලයේදී ටෙස්ට් තරගයකට රුපියල් දස දහසක් හම්බ වුණා. අවුරුදු 10 ක් ගැහුව්වට පස්සෙ තමයි එහෙම මුදලක් ලැබුණෙ.
“අපේ කාලයේ ජිම් තිබ්බෙ නැහැ. මම ජිම් එකකට ගියේ ක්‍රිකට් වලින් විශ්‍රාම ගිහින් බොහෝ කාලයකට පස්සෙ. අපි ග්‍රවුන්ඩ් එකේ ඇති වෙන්න දුවනවා. ඊට පස්සෙ ව්‍යායාමයක් කරනවා. ඒ ටික විතරයි අපිට ක්‍රිකට් ගහන්න ප්‍රයෝජනවත් වුණේ. හැබැයි එහෙම වුණා කියලා ක්‍රීඩකයන් ලොකු ආබාධවලට ලක්වුණේ නැහැ. දැන් කාළේ හැම දේම තිබිලත් ක්‍රීඩකයෝ කොච්චර ආබාධවලට ලක් වෙනවද. ඉස්සර ප්‍රැක්ටිස් කරද්දි අසන්ත ද මැල් බෝල් කරන්න පටන් ගත්ත වෙලේ ඉදලා ප්‍රැක්ටිස් ඉවර වෙනකම්ම එක දිගට බෝල් කරනවා. මට පුළුවන්නම් පැයක් ගහන්න පැයම බැට් කරනවා.”
සිදත්ලාට ක්‍රිකට් ක්‍රීඩාව ඇඟට පැල්පැදියම් වී තිබුණි. ඒ නිසා ඔවුන් ඒ කාලයේ ක්‍රිකට් දේවත්වයෙන් සලකමින් අඩුපාඩු නොසලකා ක්‍රිකට් වෙනුවෙන් කැපවූහ. ලොව ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයන්ටද ඔවුන් දෙවැනි නොවූහ. ලොව ප්‍රබලයන්ට සිදත් වෙත්තමුණි වැන්නන් දෙවැනි වූයේ අත්දැකිම් නොමැති කමින් පමණි.
“ඒ කාලේ ලෝකයේම පිළිගත් වේග පන්දු යවන්නන් වූයේ ජෙෆ් තොම්සන් වගේ පන්දු යවන්නන්. ඔවුන් හයියෙන් බෝල් කළාට අපේ වේග පන්දු යවන්නන්ට වැඩිය පොඩ්ඩයි වේගය වැඩි වුණේ. ඒ ඇරෙන්න ලොකු වෙනසක් තිබ්බෙ නැහැ. අපිට තිබ්බෙ ඔවුන් සමග ක්‍රීඩා කරද්දි මානසික ප්‍රශ්නයක්. ඒක හරියට දැකලා නැති මිනිහෙක් එක පාරට දැකලා බය වෙනවා වගේ දෙයක් මිසක් ඒ කට්ටියගේ හැකියාව අපේ කට්ටියට වැඩිය ලොකු වෙනසක් තිබ්බෙ නැහැ.”
1979 වසරේ පැවැති එක්දින ක්‍රිකට් ලෝක කුසලානයෙන් පස්සෙ අපිට ටෙස්ට් වරම් ලැබෙන්න ඕන කියන මතයේ ගොඩක් කට්ටිය හිටියා. 1981 අපි එංගලන්තයට ගියා ප්‍රාන්ත තරගාවලියකට. එතනදි අපි හිතුවා අපිට ටෙස්ට් තත්ත්වය ලැබෙයි කියලා. ක්‍රිකට් සභාපති හිටියෙ ගාමිණි දිසානායක. උප සභාපති රාජ මහේන්ද්‍රන්. ඒ දෙන්නම ගොඩාක් මහන්සිවුනා අපිට ටෙස්ට් තත්ත්වය අරන් දෙන්න. කොහොම හරි 1981 දී අපි එංගලන්ත සංචාරය යනකොට අපිට කියලා තිබ්බෙ ඒ සංචාරය අපි හොඳට කළොත් අනිවාර්්‍යයෙන්ම ටෙස්ට් තත්ත්වය ලැබෙයි කියලා. එතකොට අයි.සී.සී. මීටින් එකත් ඒ ටුවර් එක අතරතුරදී තිබ්බා.
මට මතකයි යෝක්ෂයර් වල ගෘවානා හවුස් කියන හෝටලයේ ඉන්න කොට අපිට ටෙස්ට් වරම් ලැබුණා කියන පණිවිඩය ආවා. ඒ පණිවිඩය ලැබුණට පස්සෙ අපි හැමෝටම ලොකු සතුටක් දැනුණා. කට්ටිය එක එක්කෙනා වැළඳගෙන සුබ පතා ගත්තා. අපි එදා හවස ලොකු පාටියක් දැම්මා. එතනදි අපේ කට්ටිය ගොඩක් සතුටින් විනෝද වුණා. අපේ හිතේ තිබුන ආසාව තමයි එක ටෙස්ට් තරගයක් හරි ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීම. අපි ඒ තරගාවලිය හොඳටම කළා. මට මතක හැටියට ඔක්කොම වගේ මැච් ටික දිනුවා. දැන් සිම්බාබ්වේ සහ බංග්ලාදේශ කණ්ඩායම්වලට වඩා ඒ කාලෙදි අපි හොඳයි.
1970 කාලේ ඉදන් අපිට ටෙස්ට් ක්‍රිකට් ගහන්න තිබ්බා. අපේ රටේ ටෙස්ට් ග්‍රවුන්ඩ් නැති නිසා තමයි ඒ ගොල්ලන් ටෙස්ට් දෙන්න ප්‍රමුද වුණේ. පළමු ටෙස්ට් තරගය අපිට අත්දැකීම් තිබුණෙ නැති හින්ද තමයි පරාජය වුණේ. ඒකෙ පළමු දවස් තුනේ අපි තමයි උඩින් හිටියේ. නමුත් දවස් පහක් ක්‍රීඩා කරන්නෙ කොහොමද කියන එක අපි දැනගෙන හිටියෙ නැති නිසා පරාද වුණා. මට මතකයි අපේ පළමු ටෙස්ට් තරගයේදී දෙවැනි ඉනිමේදී බැට් කරන්න ගියාම ඒ ගොල්ලො හිතුවෙ අපේ පිතිකරුවන් තට්ටුදානවා නැතිනම් හයේ හෝ හතරේ පහරවල් ගහනවා කියලා. එහෙම හිතල ජෝන් එම්බියුරි කියන දඟ පන්දු යවන්නෙක් බෝල් කරන කොට පිතිකරුවාගේ වටේ කට්ටියක් හිටියා. තවත් කට්ටියක් හතරේ සීමාවෙ තියලා තිබ්බා. හැබැයි අපේ පිතිකරුවන් කළෙත් ඒ ගොල්ලන් හිතපු දේම තමයි. පස්සෙ එම්බියුරි විකට් හයක් ගත්තා.
පාකිස්තාන්වලට එරෙහිව මම පළමු ටෙස්ට් ශතකය ගැහුව්වා. හැබැයි මට ආසාව තිබ්බෙ කණ්ඩායමේ රැඳී සිටිමින් උපරිම හොඳට ක්‍රීඩා කිරීම මිසක් පනහක් හෝ සියයක් ලබා ගැනිම නෙමෙයි. ඒක නිසාදෝ මම පළමු සියය ගැහුව්වා කියලා මට කිසිම සතුටක් වටිනාකමක් දැනුනෙ නැහැ. මට මතකයි රංජිත් ප්‍රනාන්දු මගේ රූම් එකට ඇවිල්ලා කියනවා ඔයාගේ ජීවිතයේ අදඅ මතක නොවෙන දෙයක් ඔයා කළා කියලා. ඒකෙ වටිනාකම ඔයා දන්නවද කියලා ඇහුව්වා. මම කිව්වා එහෙම කිසිම වටිනකමක් දැනෙන්නෙ නැහැ කියලා.
මම හිතන්නෙ ලෝකෙ හිටපු ගොඩක් වේගයෙන්ම බෝල් කරන පන්දු යවන්නන් හිටියේ 70/80 දශකයේ මම අදටත් කියන්නෙ ඕපනින් බැඩ්ස්මන් කෙනෙක් හැටියට ගහන්න තිබ්බ නරකම කාලයේදී තමයි මම ආරම්භක පිතිකරුවා වුණේ. හැම රටකම ලෝක පුජිත වේග පන්දු යවන්නන් දෙන්නෙක් තුන්දෙනෙක් හිටියා. අද කාලයේ වගේ හිස්වැසුම් ආම් ගාර්ඩ් අරව මේවා මුකුත් නැහැ. ඒත් කොහොම හරි එවැනි වේග පන්දු යවන්නන්ට අපේ අය හොඳට සෙල්ලම් කළා.
මට මතකයි ඒ කාලේ වේග පන්දු යවන්නෝ අම්බානකට පිතිකරුවන්ට ිතිත්ත කුණු හරුපෙන් බනිනවා. මොකද තරග තීරකවරු එහෙම ඒ කාලෙ නැහැනේ. මගේ පළමු ඔස්ටේ්‍රලියා සංචාරයේදී ඔස්ටේ්‍රලියාව නියෝජනය කරමින් රොඩ්නි හොග් කියලා වේග පන්දු යවන්නෙක් හිටියා. මම එයාගෙ පළමු පන්දුවටම හුක් පහරක් ගහන්න ගියා. මම හැරෙන්න ඉස්සෙල්ලා මගෙ කණ ගාවින් කඩුලු රකින්නාට පන්දුව ඇදී ගියා. ඊට පස්සෙ රොඩ්නි මගෙ ඉස්සරහට ඇවිල්ලා අඩි දෙකක් විතර එහා ඉදන් කිව්වා අනිත්පාර ඔහොම ගහන්න හැදුවොත් උඹගෙ ඇස් දෙක මැදට බෝලෙන් ගහනවා කියලා. ඉතින් මම හිනා වෙලා නිකන් හිටියා. හිටපු ගමන් ඔය වගේ ප්‍රශ්න පිට්ටනියෙන් එහාට ගිහිනුත් තියෙනවා. හැබැයි මට නම් එහෙම වෙලා නැහැ. මට බැන්නහම මම හිනා වෙලා ඉන්නවා. සුද්දෙක් ඇවිල්ලා කෑ ගහනකොට අපි හිනා වුණාම උන්ට තවත් කේන්ති යනවා.
70කාලයේ ක්‍රිකට් ගහනකොට දැන් වගේ තණතීරු ආවරණය කරලා තිබ්බෙ නැහැ. එදා විකට්වල තණකොට ගොඩක් තිබ්බා. දැන් ලෝකෙ විකට් එකම විදිහට හදන්නෙ. මැච් එකෙන් මැච් එකට වෙනස්. අපිට ෂර්ට් දෙකයි කලිසම් දෙකයි තිබ්බෙ ක්‍රිකට් ගහන්න. බැට් එකක් දෙකක් තිබ්බා. එකක් කැඩුනොත් ඒකත් ප්‍රශ්නයක්. අපි බැට් මාරු කරන් ගහපු අවස්ථා තිබ්බා. එංගලන්තයේදී මම 100 ක් ගහලා ඉවර වුණාම මගේ බැට් එක කැඩුණා. වාසනාවට එතකොට තව එකක් තිබ්බා. නැතිනම් ඉල්ලගෙන හරි එහා පැත්තෙ එක්කෙනාගෙන් මාරු කරගෙන හරි තමයි ගහන්න වෙන්නෙ.
අත්දැකිම් අඩු කමින් ශ්‍රී ලංකාව සිය මංගල ටෙස්ට් තරගයද පරාජය වූ බව සිදත් වෙත්තමුනි පවසයි. එවැනි අතීතයක් හිමිව තිබු ශ්‍රී ලංකාව 90 දශකය වන විට ලොව පෙරළිකාර කණ්ඩායමක් බවට පත්විය. තරගයකට ඔබින මානසික ශක්තිය සියයට සියයක් නොමැතිව සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 90 දශකයේ පෙරළිකාර කණ්ඩායමක් වුයේ කෙසේද? ශ්‍රී ලංකාවට 1996 ලෝක ක්‍රිකට් කුසලාන දිනාදුන් අර්ජුන රණතුංග කණ්ඩායම් නායකත්වයට පත්වු පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ මානසික ශක්තිය වර්ධනය වු බවද සිදත් වෙත්තමුණි පවසයි.
“අර්ජුන රණතුංග ශ්‍රී ලංකා ක්‍රිකට් නායකක්වයට පත්වුණාට පසුව තමයි ක්‍රීඩකයන්ගේ මානසිකත්වය ලොකු වෙනසක් ඇති වුණේ. අර්ජුන එදා සුද්දන්ට පෙන්නන්න හැදුවා ඕගොල්ලන්ට වඩා අපි හොඳයි කියන එක. ඒකෙන් අපේ ක්‍රීඩකයන්ගේ තිබ්බ බය ඉබේටම නැතිව ගියා. තරග දිනන්න පුළුවන් කියන එක හැම ක්‍රීඩකයකුටම ඇති වුණා. එහි ප්‍රතිඵලයක් තමයි 1996 ලෝක කුසලාන ජයග්‍රහණය.
1996 වෙනකොට අපිට ලෝක කුසලාන දිනන්න පුළුවන් කණ්ඩායමක් හිටියා. මම හිතන විදිහට ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීමේ මුලික අඩිතාලම සකස් වුණේ ඊට පෙර තිබ්බ පාකිස්තාන සංචාරයේදී. ඒ සංචාරයේදී පළමු ටෙස්ට් තරගය පැරුලා ඊළඟ එක දින්නා. එක්දින තරගාවලියේදිත් පළමු එක පැරුලා ඊළග ටික දින්නා. එතන ඉඳලා තමයි අපේ කට්ටියට ලෝකේ ඕනෑම තැනක ගිහිල්ලා දිනන්න පුළුවන් කියන මානසිකත්වය ආවේ.
ඒකාලෙත් ක්‍රීඩකයන්ට අද වගේ ලොකු සල්ලියක් ලැබුණෙ නැහැ. මට මතකයි ලෝක කුසලාන තරගාවලියේදී අර්ධ අවසන් පුර්ව තරගයකට සහභාගි වීමට අපි ෆයසිලාබාද් යනකොට සනත් ජයසුරියයි මමයි ගුවන් යානයේ එක ළඟ සීට් එකක වාඩිවෙලා හිටියේ. ඊට ඉස්සෙල්ලා එයා මට ඔරලෝසුවක් පෙන්නලා තිබ්බා. එදා එයා ආයිත් ඇහුව්වා ඇයි මේක මට අරන් දෙන්නෙ නැත්තෙ කියලා. මම කිව්වා එහෙනම් ඔට්ටුවක් දාමු එතකොට මම මේක අරන් දෙන්නම් කියලා. සනත් කිව්වා හරි ඔට්ටුවක් දාමු කියලා. මම කිව්වා ඔයා ඊළඟ මැච් එකේ ඕවර 15 ක් බැට් කළොත් මම අනිවාර්්‍යයෙන්ම මේ කාර්ටියර් ඔරලෝසුව අරන් දෙනවා කියලා. කොහොම හරි එයා ඕවර් 13 ක් යනකොට අවුට් වුණා. එතකොට බෝල 40 කට 81 ක්ද කොහේ ගහලා හිටියේ. ඒ එංගලන්ත මැච් එක අපිට ගොඩක් වැදගත් වුණා. මොකද ඒ මැච් එක අපි දිනුවනම් අපිට සෙමි ෆයිනල් එකේදි මුණ ගැහෙන්නෙ ඉන්දියාව නිසා. පස්සෙ කොහොම හරි සනත් ඇවිල්ලා කිව්වා මම ඔන්න ඔට්ටුව දිනුම් අර පෙන්නපු ඔරලෝසුව අරන් දෙන්න කියලා. මම කිව්වා ඔයා ඕවර 15 ක් බැට් කළේ නැහැනෙ 13 වැනි ඕවරයේ අවුට් නිසා ඔට්ටුව පරාදයි කියලා. ඒ වුණාට මම හොඳ ලකුණු ගහලනෙ අවුට් වුණේ කියලා සනත් කිව්වා. පස්සෙ මම පොඩ්ඩක් සනත්ට විහිළු කරලා අන්තිමේදී ඔරලෝසුව අරන් දුන්නා.
ඒ සෙමි ෆයිනල් මැච් එකට ඉස්සෙල්ලා ගොඩක් අපි සාකච්ඡා කළා මැද පෙළ හෂාන් තිලකරත්නයි රොෂාන් මහානාමයි දෙන්නම ගහනවද නැතිනම් එක්කෙනෙක් අයින් කරනවද කියලා. පස්සෙ දෙන්නම ගහන්න තීරණය කළා. ඒ දෙන්නම ඇවිත් වැදගත් දෙයක් කළා. ඒ හිටපු කණ්ඩායම ලෝක ශූරයන් වෙන්න පුළුවන් කණ්ඩායමක් බව පෙනුණා. පිතිකරු ලැයිස්තුව අග වෙනකම්ම හොඳයි. ඒ වගේම හැම ක්‍රීඩකයෙක්ම තරගයෙන් තරගයට මොනව හරි දක්ෂතාවක් කළා.
96 ලෝක කුසලාන තරගාවලියේදී කණ්ඩායමේ තේරීම් කමිටු සාමාජිකයකු වශයෙන් කටයුතු කරමින් එකට සිටීමට ලැබීම වාසනාවක් බවද සිදත් වෙත්තමුණි පවසයි. “අපි ගහපු හැම තරගයකම ප්‍රේක්ෂකයන්ගේ සහය අපිට ලැබුණා. අපි ෆයිනල් එක ගහන්න ලාහෝර් ගියාම හිටියේ රමීස් රාජා. ඔහුයි ක්‍රීඩාංගණයේ කට්ටියයි ඇවිල්ලා අපෙන් ඇහුව්වා ඔයගොල්ලන්ට මොන වගේ තණතීරුවක්ද ලෑස්ති කරලා දෙන්න ඕනෙ කියලා. අපිට ඕන තණතීරුව ඒ අය හදන්නම් කිව්වා. ඒ වගේ ලොකු සහයක් අපි ලැබුණා.”
ෆයිනල් එක කියලා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ලොකු පීඩනයක් තිබුණෙ නැහැ. කොහොමත් තරගයකදී පීඩනයක් දාගන්න ක්‍රමයක් නැහැ. සාමාන්‍ය විදිහට තමයි ෆයිනල් එකත් ක්‍රීඩා කළේ. ඒ කාලේ අර්ජුන මුලින්ම ෆීල්ඩ් කරලා ආවාහම කරන දෙයක් තමයි පන්දුවාර 10 ක් විතර යනකම් නිදා ගන්න එක. ඒ වෙලාවට ඩේ‍රසින් රූම් එක ඇතුලෙ කවුරුත් කතා කරන්නෙ ැහැ. කොහොමත් මැච් එකක් යන වෙලාවෙ කවුරුත් මොනවත් ෆෙෂර් එකක් දාගන්නෙ නැහැ. පිට්ටනිය මැදට ගිහිල්ලා කරන්න ඕන දේ කරලා එනවා. හැබැයි ඊට පස්සෙ තමයි මැච් එකේ වෙච්ච දේවල් මොනවද කියලා හොයලා බලන්නෙ.
සෑම ක්‍රිකට් ක්‍රීඩකයකුටම ක්‍රිකට් පිටියේ වටිනා සමරු සටහනක් තිබේ. පළමු ටෙස්ට් තරගය ඉන්දියාවට එරෙහිව 1985 වසරේ ජය ගැනීමේ මතකයත් එම තරගයේදී කණ්ඩායමේ ක්‍රීඩකයන්ට රු. 25000 ක දීමනාවක් ලැබුණු බවත් සිදත් වෙත්තමුණිගේ මතකයේ තිබේ. සිදත් වෙත්තමුණි විස්ඩන් ක්‍රිකටර් ඔෆ් ද ඉයර් සම්මානයට නම නිර්දේශ වූ පළමු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයාද වේ.
“1983 තහනම් දකුණු අප්‍රිකානු සංචාරයට යන්න මටත් ලොකු ආරාධනාවක් ආවා. හැබැයි මම දැනගෙන හිටියා මේක ගියොත් මොකක්ද වෙන්නෙ කියන එක. හැබැයි ඒ සංචාරයේදි අපේ සමහර ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන පවු කියලා හිතෙනවා. එදා අපේ සමහර ක්‍රීඩකයෝ දකුණු අප්‍රිකාවට ගිහින් ඇවිල්ලා කිව්වෙ අපි මචං දකුණු අප්‍රිකාව තියෙන්නෙ කොහෙද කියලවත් දන්නෙ නෑ කියලා. රටවත් දන්නෙ නැතිව තමයි අපේ සමහරක් අය ගියේ.
මම හිතන්නෙ ඒගොල්ලන් ඔච්චර බරපතල වෙයි කියලා හිතන් හිටියේ නැතිව ඇති. මගේ අයියත් ඒ කාලයේ ශ්‍රී ලංකා ගහනවා. ඒ හින්දා මම නම් මෙහෙම දෙයක් වෙයි කියලා දැනගෙන හිටියා. ඒ කාලේ දකුණු අප්‍රිකාව තහනම් කරපු කණ්ඩායමක්. ඒ සංචාරය තිබුණ වකවානුවේදී සිම්බාබ්වේ ටීම් එක අපේ රටට ඇවිල්ලා ක්‍රීඩා කරනවා. කොහොම හරි අපේ මැච් එක යන අතරතුර අපිට පණිවිඩය එනවා දකුණු අප්‍රිකා ගිය අපේ කට්ටියගේ ලකුණු තත්ත්වය. අපිට එක පාරට ගොඩක් කට්ටිය නැති වුණාම පාඩුවක් දැනුණා. ඒත් අපේ රටේ එකෙක් යනකොට තව ඕන තරම් ඉන්නවා ඒ කාලයේ ස්ථානයක් ගන්න.
70/80 වකවානුවේ බටහිර ඉන්දීය කොදෙව්වන් ලෝක ක්‍රිකට් පිටියේ රජ කළා. ඊට පස්සෙ මෑතක් වෙනකම් ඔස්ටේ්‍රලියාව. දැන් ඉන්දියාව. ඒ වගේ කාලයෙන් කාලයට ක්‍රිකට් රැල්ල වෙනස් වෙනවා. රටවල්වලට හොඳ නරක කාලවල් තියෙනවා. කොහොම හරි ලෝකෙ තියෙන ඔක්කොම රටවල්වලට වැඩිය අපේ රටේ තමයි වැඩියෙන්ම හොඳ ක්‍රීඩකයන් ඉන්නෙ.
සිදත් වෙත්තමුණි ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 23 ක් ක්‍රීඩා කරමින් ශතක දෙකක් සහ අර්ධ ශතක හයක් සමගින් මුළු ලකුණු 1221 ක් ලබා තිබේ. ඔහු එක්දින තරග 35 කදී අර්ධ ශතක හතරක් ලබා තිබේ.

Leave a Reply

Your email address will not be published.